Sinhala Open Bloggers

May 28, 2010

මෙවර මගේ පරිගණක වෙසක් සැරසිල්ල

Filed under: 6way, Electical, electronic, port programming, programming, wesak — ගයාන් තාරක @ 6:18 pm
මට ගිය පාර වෙසක් එකට දාන්න බල්බ් වැල ගත්තම ඒකෙ පරිපථයට සිද්ද වෙච්ච දේ කට්ටියට මතක ඇතිනේ. මතක නැති අය නොදන්න අය ඉන්නවනම් මෙතනින් බලාගන්න‍. ඉතිං මේපාර ඒ පරිපථය හොයාගත්තත් වැඩ කරන තත්වයක තිබුනෙ නෑ. ආයිම සංගෘහිත පරිපථ 2ක් අලුතින් සවි කරල. ට්‍රාන්සිස්ටර 6ක්ම දාල ගත්තම වැඩ කරන තත්වෙට ගන්න පුලුවන් උනත් බල්බ වැලට ඇමිණිමෙන් පසු AC විදුලිය ලබාදුන් විට දිගටම දැල්වී තිබෙන්නට වූ නිසා නැවතත් ගියවර කල ආකාරයටම යොමු වීමට සිදු උනා. නමුත් මෙවර කලේ පෙර අවස්ථාවේ භාවිතා කල රිලේ වෙනුවට ට්‍රැයැක් භාවිතා කිරීමයි. (සද්ද නැතිව වැඩ ගැනීමට).

ගියවර ලියාගත්තු පරිගණක වැඩසටහනම මෙවරත් භාවිතා කිරීමට හැකි වුනා. එබැවින් වැඩ ටිකක් ලේසි වූ නිසා එක් වෙසක් කූඩුවක් වර්ණ දෙක බැගින් ආලෝකමත් කරන්නත් හැකියාව ලැබුණා.


ඒ ඉතිං පිටින් එන අයට පෙනෙන ඉදිරිපස පෙනුමනේ.. තිරය පිටුපස පිටින් එන අයට පේන්නෙ නැහැ නෙව. මේ තියෙන්නේ පරිගණකයෙන් එන සංඥා වලින් 230v බල්බ හසුරුවන පරිපථය.


ගියවර භාවිතා කරපු එකමයි. හැබයි රිලේ නැති නිසා සද්ද නැතිව වැඩ. මං 6කින් යුතු 5w බල්බ 38ක් හසුරුවන්නේ පුංචි ට්‍රැයැක් උපකරණ 6කින් තමයි.

සරලව ක්‍රියාකාරීත්වය කිවුවොත් පරිගණකයේ සමාන්තරගත තොටුපලින් එන සංඥා ට්‍රාන්සිස්ටර් මගින් වර්ධනය කර LED දර්ශක(DC) වෙත හා ඉන් අනතුරුව තවත් දර්ශක පෙලකින් පසුව ට්‍රයැක් උපකරණය වෙත ලබා දෙනවා. ට්‍රැයැක් උපරණ වෙත අමුණා ඇති බල්බ වැල පරිගණකයේ සිට එන සංඥා වලට අදාලව පාලනය වෙනවා. ඊට අමතරව එතන පසු ආරක්ෂණ ක්‍රියාමාරිගයකුත් තියෙනවා. (නැත්තං මව්පුවරුවට සොරි තමා)

එකම වෙසක් කූඩුව වර්ණ දෙකකින් දැල්වීමට යොදාගත් උපක්‍රමය තමයි මේ. බල්බ දෙකක් යොදා වෙන වෙනම දැල්විමට සැලැස්වීම තමයි කලේ.



ඔය ඔක්කොම එකතු කරල දවසම මහන්සි වෙලා කරපු දේ අවසන් ප්‍රතිඵලය තමයි මේ තියෙන්නේ.

May 27, 2010

GMail Chat එකේදී අකුරු ඇල කිරීම සහ තද පැහැ කිරීම

Filed under: *, Bold, Chat, Gmail, Italic, _, විශේෂ — ගයාන් තාරක @ 5:05 pm
GMail එකෙන් chat කරද්දී වචන විශේෂ කරල දක්වන්න උනොත් මොකද කරන්නේ. Bold කරන්න හරි Itaic තිබුණනම් හොදයි කියල හිතෙනව ඇති.

මෙන්න මෙහෙමයි කරන්නේ. italic කරන්න ඕන වචනෙට හෝ වාක්‍යයට කලින් _ එක දීල වචනය හෝ වාක්‍යය අවසන් උනාම නැවත _ එක දෙන්න.

Bold කරන්න ඕන නම් පටන් ගන්න * ‍කින්. අවසන් කරන්නත් * ක් පාවිච්චි කරන්න

එච්චරයි..

May 21, 2010

ටැබූ නිසා සටහන් පිටුවේ නව තාක්ෂණික ලිපි නොලිවීම

Filed under: sory, taboo, taboosubjects, technical posts, ටැබූ, තාක්ෂණික ලිපි — ගයාන් තාරක @ 5:10 pm
මගෙන් තාක්ෂණික ලිපි ලිවීම මගඇරිල ගිහින් කියල හිතෙනවද? එහෙම හිතෙනව නම් උත්තරය ඔව් කියලා කියන්නත් පුලුවන්. පසුගිය පෙබරවාරි මාසයේ උනු සිද්දියෙන් මවිසින් ආසාවෙන් ලියාගෙන ආපු තාක්ෂණික ලිපි ලිවීම මග ඇරී ඇති බැවි දැකිය හැකියි. ලිපි ලැයිස්තුව පෙන්නුම් කරන කරුණක් වන්නේ පෙබරවාරි වලින් පසු එවැනි ලිපියක් හරියකට ලියා නැති බවයි. ඇත්තටම කිවුවොත් ඒ පිළිබඳව තිබු ආසාව නැති උනා කියන්න පුලුවන්. ඒක නිසා තමයි වෙන අනං මනං ලියවෙන්නේ.

මේකෙ ලියවුණු තාක්ෂණික ලිපි ගොඩාක් දුරට මගේ අත්දැකීම් වලින් ලබා ගත් දැනුම එකතු කරල ලියපු ඒවා. ඒ ලිපි ලියල තිබ්බේ ‍කමෙන්ට් බලාගෙන නෙවෙයි. මටම වතු දිනයක ඒවා ඕන වෙන්න පුලුවන් නිසා.

ඒත් පසුගිය පෙබරවාරි මාසයේ දේශපාලන බ්ලොග් ලිපි වෙනම පිටුවකට ගෙනයාම නිසා ඇතිවූ තත්වය ගැන සමූහය තුල උණුසුම් සංවාද පවා ගිය අතර ඇතැමුන් ඒ සම්බන්ධයෙන් ලිපි පවා තමන්ගේ බ්ලොග් වල පල කර තිබුණා.

‍නමුත් මා එවැනි දෑ සම්බන්ධයෙන් ප්‍රතිචාර නොදක්වා සිටියෙමි. ඒ මා දේශපාලනික බ්ලොග් කරුවකු නොවූ බැවින් විය හැක. නමුදු පසෙක සිටි මවිසින් ලියූ ලිපියක්ම හුවාදැක්වමින් අදහස් ගෙන හැර පෑම එම කලකිරීමට හේතුව වන්නට ඇත.

මෙන්න එම taboosubject වෙතින් -ගෝරා- බ්ලොගයේ හි වැටුණු කමෙන්ටුව.

එම කමෙන්ටුවම Udeshika Dayarathna හෙවත් Local Taboo සිංහල බ්ලොග් කරුවන්ගේ සමූහයට එවා තිබුණි.

මේ දෙකම සලකා බැලූවිට එක්කෝ මෙම taboosubjects, Udeshika Dayarathna හා local taboo යන පුද්ගලයින් තිදෙනාම එකකු විය හැකි යයිද මට සිතේ.

එයින් කියවෙන පරිදි මාගේ එම ලිපියට පාඨකයින් පොරකකා රැස්වෙන බව කියා ඇත්තේ තාක්ෂණික ලිපි උපහාස‍යට ලක්කිරීමට විය යුතුය. මන්ද එහි ති‍බෙනුයේ එකම එක පාඨක ප්‍රතිචාරයක් පමණකි. අනික මවිසින් එයට බැඳි පිලිතුරය.

මෙහිදී මා කමෙන්ටු බලාගෙන ලිපි ලියන්නකු නම් ‍මුලින්ම ෆෙඩෝරා වැනි මාතෘකාවක් ගැන නොලියා සිටිය යුතුය. මන්ද ලංකාව යනු බහුතරය ලිනක්ස් පරිශීලකයින් නොවන නිසාත් ලාංකීය ලිනක්ස් පරිශිලකයින් සියල්ල භාවිතා කරනුයේ Fedora මෙහෙයුම් පද්ධතිය නොවන බැවිනුත්ය.

කෙසේ හෝ එම සිද්ධියෙන් පසු මෙම බ්ලොගයේ තාක්ෂණික ලිපි ලිවීම මග ඇරුණි. නමුදු මගේ අත්හදා බැලීම් නැවතී නැත. ඒවා තවදුරටත් සිදු වෙමින් පවතින අතර වෙනම ලේඛණගත කරගෙන යාම කරන්නට පටන් ගතිමි.
නමුදු ඒවා මෙහි පලකිරීමට මාහට සිත් නොදෙන බව කිව යුතුය. ඉදින් මගෙන් තාක්ෂණික ලිපි බලාපොරොත්තු වූවෙකු සිටීයේ නම් "ඔබගේ බලාපොරොත්තු කඩ වීම පිළිබඳව සමාව ඉල්ලා සිටිමි"

May 19, 2010

facebook තහනම් වෙයි

Filed under: Internet, Web, ban, ‍facebook — ගයාන් තාරක @ 1:53 pm
පාකිස්තානු අධිකරණයක් මගින් ජනප්‍රිය සමාජ ජාල වෙබ් අඩවියක් වන facebook අඩවිය තහනම් කිරීමට නියෝග නිකුත් කර ඇත.
වැඩි විස්තර සඳහා http://goo.gl/bucF වෙත පිවිසෙන්න.

May 9, 2010

Nokia OVI එකේ ලියාපදිංචි වීම

Filed under: N73, Nokia, OVI, Sinhala, සිංහල — ගයාන් තාරක @ 6:22 pm
මේ දවස්වල YFM එකේ නිතරම කියන දෙයක් තමයි මෙන්න මේක
All nokia users, log on to http://www.ovi.com and create your ovi account asap. Send in your contact details and phone model to avurudu@ovi.com, from your ovi mail (type "Y fm" in the subject line) and stand a chance to win a trip to paris and also mobile phones......

ඉතිං මාත් ගියා ඔය ovi.com එක මොකක්ද කියල බලන්න. මුල් පිටුවෙ තියෙනව විශේෂාංග ටිකත් එක්කල Register කියල බොත්තමක්. ඉතිං එබුවම Nokia Account එකක් හදන්න පිටුවක් විවෘත වෙනවා හැබයි ඔක්කොම සිංහලෙන් (යුනිකේත). හැබයි හරවපු කෙනාට වැරදිලද දන්නෑ ශ්‍රී ලංකාව තියෙන්නේ ශ්රී ලංකාව කියලා බොරුනම් එතනට ගිහිල්ලම බලාගන්නකෝ. ඉතිං විද්‍යුත් ලිපිනය සහ දුරකථන අංකය දෙකම දීල ගිණුමක් හදාගත්ත කියමු.

Nokia ගිණුම වෙත සාදරයෙන් පිළිගනිමු කියන මාතෘකාවෙන් ආවෙ නැතැයි මේල් එකක් මෙහෙම කියල

සාදරයෙන් පිළිගනිමු kpgtharaka,

ඔබ දැන් සිටිනුයේ Nokia ගිණුමෙන් ක්ලික් කිරීම් කිහිපයක් බැහැරිනි.

ඔබ විසින් කළ යුතුව ඇත්තේ අප සතුව ඔබගේ නිවැරදි ඊමේල් ලිපිනය ඇති බවට තහවුරු කිරීම පමණි. එසේ කිරීමට කරුණාකර පහත දැක්වෙන ලින්ක් එක මත ක්ලික් කරන්න නැතහොත් එය ඔබගේ බ්රව්සරයේ ලිපින වින්ඩෝව එක මතට කොපි ඇන්ඩ් පේස්ට් කරන්න:
https://account.nokia.com/acct/verifyEmail?id=xxxxxx&lang=si

ඔබ වැඩි දුරටත් Nokia සේවාවන් ගැන දැන ගැනීමට කැමති නම් කරුණාකර http://www.ovi.com වෙත යන්න. නොඑසේ නම්, ඔබ ඔබගේ Nokia ගිණුමේ විස්තර යාවත්කාල කිරීමට කැමති නම්, කරුණාකර https://account.nokia.com වෙත යන්න.

සම්බන්ධ වීම පිළිබඳව ස්තූතියි Nokia සේවා භාවිතා කිරීම ආස්වාදනය කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

සුභ පැතුම්,
Nokia ගිණුම් කණ්ඩායම


ආ තව ආව කෙටි පණිවිඩයක් සිංහලෙන්ම.

ඔබ Nokia ගිණුමෙන් බැහැරව සිටිනුයේ ක්ලික් කිරීම් කිහිපයකිනි, කරුණාකර මෙම ලින්ක් එක විවෘත කරන්න: https://account.nokia.com/acct/v?id=xxxxxx&lang=si

වෙලාවට මං කලිං සිංහල ෆොන්ට් එකක්(ඉස්කෝලපොත) දාගෙන තිබ්බා පේන විදිය අවුල් ගියාට කොහොම හරි කියවගන්න පුලුවන්.

ඒකෙ තිබ්බ සබැඳිය ඔස්සේ ගිහිල්ල තහවුරු කරගත්තම ආපු පිටුව මේ.


ඉතිං අර කියල තිබුණ විදියට OVI මේල් එකෙන් අවුරුදු එකට මේල් එකක් යැව්වා. බලමු මොකද වෙන්නෙ කියලා

May 6, 2010

මෙන්න පහුගිය දවස් වල ‍Online සාජ්ජෙට සිංදු කියපු අය

Filed under: Other, Twitter — ගයාන් තාරක @ 6:15 pm
කට්ටියට සාජ්ජේ කියල එකක් මතකද දන්නෙත් නෑ.මතක නැත්තං පටන් ගත්තු හැටි බලන්නකෝ. ඉතිං කට්ටියගෙ කාර්යබහුල වීම නිසා වෙන්න ඇති සෙනසුරාද දවස්වල තියපු සාජ්ජෙට වෙලාවක් හොයාගන්න බැරි උනේ. ඒ දවස්වල පැල් ‍බැදගෙන සාජ්ජෙට සිංදු කියපු හැටි මතක ඇතිනේ. නොදන්න අයට දැනගන්නත් එක්කල මේ සටහන ලියන්න හිතු‍නා. මේ පහුගිය සතිය තුල වැඩියෙංම සිංදු කියපු අය

anushkalakmal
budhajeewa
CrazyAnsh
danishkanavin
gayantha
malinthe
maduonline
naveenmadhawa
Nishacharaya
thameera
tharinduRM
udaraumd
virajsrc
zrimax

කරන්නෙ කොහොමද කියල වැඩිය කියන්න‍ දෙයක් නෑ සිංදු අතරතුර Hint පාස් කරන්න පිළිතුරු ගී ලියන්න කට්ටිය මේ වැඩේ කරනවා මේං මේකට ගිහිං බැලුවනම් තේරෙයි. වැඩි දෙයක් කරන්න ඕන නෑ. twitter ගිනුමක් හදාගන්න. යාලුවො කරන දේවල් දැනගන්න ගමන් මතක්වෙන සිංදුවක් දෙකක් කියන්න. පටංගත්තු දවස්වල තිබ්බ හැටි තමයි නියම. කට්ටිය මොකද කියන්නේ ආයෙම වැඩේ පටා..න් ගන්නවද?

May 5, 2010

ජංජාල ගත වෙන්න ගිහින් වෙච්චි දේවල් II

Filed under: Internet, Laptop, Other, Phone — ගයාන් තාරක @ 11:30 am
රාත්‍රි 9.00 ට විතර මතක් උනා තව පෙර ගෙවුම් එකක් තිබුණ කියලා. දාල බැලුවා ඒකත් ඩිස්කනෙක්ට්. ඩිස්කනෙක්ට් වෙච්ච එකක් අරගත්තු නිසා සේ මෙචච්චර කට්ටක් කෑවේ. වැඩ කරන එකක් හොයාගත්ත නම් හරි කියලා හිතුනා.

ගෙදර පෙර ගෙවුම් එකක් පාවිච්චි කරන්නේ නංගි විතරයි. ඉතිං පහුවෙනිදා රීලෝඩ් එකක් දාල දෙන පොරොන්දුව පිට ඒක ඉල්ල ගත්තා. අයිය නැති නිසා E220ත් නෑ. සිම් දෙක මාරු කරා. හැබයි ෆෝන් දෙකම මම ලඟ ;)
කනෙක්ට් වෙන්න පුලුවන්ද බැලුවා. ගින්දර වගේ වැඩ. එවෙලෙම දැම්මා Daily Delight (25) පැය 2ක් විතර පාවිච්චි කරා. කරපු වැඩ ටික අනුව ඒක ඉවර ඇති කියල හිතුණා. ඉතිං ඔන්ලයින් වැඩ ටික නවත්තල එදා ඕෆ්ලයින් වැඩ කරන්න ගත්ත.

පහුවෙනිදා උදේම වැ‍ඩට යන ගමන් ගත්ත ඇමතුමක් මොබිටෙල් පාරිභොගික සේවා අංශයට. අපරාදේ කියන්න බෑ විනාඩියක් යන්නත් කලින් කෙනෙක් කතා කරා.(කතා කරන නම්බර් එක අනුවත් සෑහෙන වෙනසක්). මම දාපු පැමිණිල්ලෙ අංකය දීල විමසීමක් කරා. පොඩ්ඩක් ඉන්න කියල ඕං දැම්ම අර ඇඩ් පෝලිම. ටිකකිං කට් උනා. මං යමින් ගමන් නිසා සිග්නල් වල තත්වය මදි වෙලාද දන්නෙත් නැහැ. ටිකක් වෙලා ඉදල ආයිම ගත්ත. කලින් වගේම විනාඩියක් යන්නත් කලින් නියෝජිතවරියක් සම්බන්ධ උනා. ඉතිං නැවත මුල සිට විමසීමක් කරන්න උනා. අන්තිමේදි පැමිණිල්ල අරගනිපු නියෝජිතයව දැනුවත් කරන්නම් මේ සම්බන්ධයෙන් හොයල බලන්න එයා කෝල් එකක් දෙයි කියල කිවුවා.

වෙන මුකුත් දැනගන්න තියෙද කියල ඉතිං එයාල අන්තිමට අහනවනේ. ඒ වෙලාවෙදි මට අහන්න හිතුන මොබිටෙල් පැකේජ පිලිබඳ විස්තර. මොකද මං පාවිච්චි කලේ 2003 මොබිටෙල් හදුන්වාදීමෙදී ගත්තු Cool 100 එකක්. ඒක නම් මාසෙට රු100 යි. ඒ දවස් වල නම් පිටතට ගන්නා ඇමතුමකට රු 11ක් විතර අය කරනවා. පස්සේ සහන දීල දීල දැන් වීඩියෝ ඇමතුම් විනාඩි 100ක් නොමිලේ ලැබෙනවා. බලද්දී පස්සෙ දීපු Cool Plus 100 එකම තමයි.
අවම දත්ත පැකේජය ගැන විම‍සීමේදී දැනගන්න ලැබුනේ මාසික ගාස්තුව රු 300 ක් වෙන Active F එක තමයි. ඒකෙ නම් විනාඩි 300ක විඩියෝ ඇමතුම් සහ 300Mb දත්ත ප්‍රමාණයක් නොමිලේ භාවිතා කරන්න අවස්ථාව ලැබෙනවා.
ඊළගට තියෙන්නේ SRIL කියන පැකේජය. ඒකෙ මාසික ගාස්තුව රු 500යි සාමාන්‍ය ඇමතුම් විනාඩි 500ක්, වීඩියෝ ඇමතුම් විනාඩි 500 ක කාලයක් සහ 500Mb දත්ත ප්‍රමාණයක් නොමිලයේ භාවිත කරන්න අවස්ථාව ලැබෙනවා.
(නොමිලයේ කිවුවට ඉතිං අපි මාසෙකට ගාණක් ගෙවලනේ) ඒත් සාමා්‍යයෙන් මාසෙට වියදම් වෙන ගාණ අනුව බැලුවම ඔයින් පැකේජයක් ගන්න එක ලාබයි පෙරගෙවුම් එකක් භාවිතා කරනවට වඩා.
වැඩි විස්තර ඕන නම් මොබිටෙල් වෙබ් අඩවියේ මෙන්න මෙතනින් ගන්න පුලුවන්

මාසෙට 1000 ට 2000කට ව‍ඩා වැඩියෙන් වියදං වෙන කවුරු හරි ඉන්නවනං මෙන්න මේවා හොදයි

ඔන්න ඉතිං කතාව වෙන පැත්තකට යනවා. ආපහු මාතෘකාවට එමු. ඉතිං අර පැමිණිල්ල දාපු නියෝජිතයා අමතන කං බලන් ඉන්න වෙනවා. ඕං ඔ‍ෆීසි‍යට ඇවිත් වැඩ කරන කොට ‍ආව මොබිටෙල් එකෙන් ඇමතුමක්. කතා කලේ අර නියෝජිතයා. ඇත්තම කියනවනම් පැමිණිල්ල ලියාගෙන තියෙන්නේ නියෝජිත වරියක්. එයා කලිං ගෙදරට කතා කලාලු. ෆෝන් එක රිං වෙනවා ආන්සර් කලේ නෑ. කිවුවා. ඉතිං පැහැදිලි කරල කිවුවා ගෙදර තියෙන SLT දුරකථනය තමයි රැහැන් කපාදාල තියෙන්නේ. ඒක වැඩ කලා නම් මට වීක්ලි ඩිලයිට් එක දාන්න ඕනත් නෑ ඒකෙන්ම ADSL අරන් තියෙන නිසා කියල. කොහොම හරි ඉතිං ආපහු මං අර දාගත්තු Weekly Delight එක අයින් කරගන්න කං ‍මුදල් ලබා දෙන්න විදියක් නෑ. ඒක අයින් කරගත්ත ගමන් මුදල් ආපසු ලැබෙයි කිවුවා. මට ඒත් සැකයක් ආව රු 75යි නේ Weekly Delight ‍දාන්න යනව කියන්නේ. සම්පූර්ණ අය කිරීම රු 98.98ක්. ඒ ගැන විමසීමේදී කිවුවේ ඒ සම්පූර්ණ මුදලම ලබා දෙන බව තමයි. ඉතිං ඒක ආපහු ලැබුණට පස්සේ ජංගම දුරකථනයේ සැකසුම් පරීක්ෂා කරල නැවත Weekly Delight දාගන්නත් කිවුවා. ආපහු දාන්නේ මොකටද මේ වෙච්ච දේ හොදටම ඇතිනේ. අර වැඩ කරන සිම් එකටම ගිණුමෙ ශේෂය මාරු කරගත්තනම් හරිනේද කියල හිතල ඒ මුදලට නැවත නොදා ඇමතුම් ගන්න භාවිතා කරන්න බැරිද කියල ඇහුවා. ඒකට කැමති දෙයක් කරන්න පුලුවන් කියල එපාර කිවුවා.
ඒ ඇමතුමෙන් පස්සේ ඔන්න #170# මගින් දාගනිපු Weekly Delight එක අක්‍රිය කලා. ඒත් මුදල් නම් ආපහු ලැබුනෙ නෑ. හවස 2ට විතර ගියා මාතර මොබිටෙල් ශාඛාවට තියෙන පැකේජය පාඩුයි වගේ නිසා ඒක ‍මාර කරගන්න තමයි ගියේ. ඒකත් මාරු කරල ඉවරවෙලා අර කරපු පැමිණිල්ලෙ නවතම තත්වය මොකක්ද කියල විමසීමක් කරා. ‍එයාල මූලස්ථානයත් එක්කල කතා කරල බලල අද හවස 5 ට කලින් නැවත මුදල් ලබා දෙන බව දැනුම් දුන්නා.

ඉතිං කොහොම හරි හවස 6 ට විතර බැලුවත් අර මුදල ආපහු ඇවිත් තිබුනෙ නෑ. Daily Delight දාපු සිම් එකට #170# ගහල බලද්දි තවත් පැය කිහිපයක් සහ මෙගාබයිට කිහිපයක් ඉතිරිව තිබුණා. එදා දවසත් ඒ සිම් එකම භාවිතා කරන්න පුලුවන් උනා. මෙන්න ඒ වෙලාවෙ වේගය


කොහොම හරි පහුවෙනිදා උදෑසන වෙනකොට නැවත රු 98.98ක් වෙච්ච මුලු මුදලම මගේ ගිණුමට ආපහු ඇවිත් තිබුණා. ඕං ඔහොමයි ජංජාල ගත වෙන්න ගිහිල්ල වෙච්චි ජංජාලෙන් බේ‍රුනේ. දැන් නම් ADSL එක යථා තත්වයට පත් කරල ආයෙම හොරු කපයිද දන්නෙත් නෑ. :)

April 25, 2010

ජංජාල ගත වෙන්න ගිහින් වෙච්චි දේවල් I

Filed under: Internet, Laptop, Other, Phone — ගයාන් තාරක @ 6:17 am
පහුගිය මාසේ 24 වෙනිදා විතර අපේ ගෙවල් පැත්තට එන ටැලිෆෝන් වයර් සෙට් එකේ 4' කේබල් එක කපල දාල කියල කලින් පෝස්ට් වලත් ලිවුවනේ. ඉතිං ටැලිෆෝන් නැති කල කවර ADSL ද? මේ ලියන්නේ ඊට පසු ජාලගත වෙන්නන දරපු මහන්සිය තමයි. දවස් දෙකකින් විතර SLT එකේ ඉන්ජිනේරුවෝ ඇවිත් නැවත යථා තත්වයට පත් කරා. ඒ වෙනකොට කේබල් කපපු අය පොලිසිය විසින් අත් අඩංගුවට අරන්ලු. (බඩුත් එකකම හොරු). ඇප දුන්නෙත් නෑ කියල තමයි කිවුවේ.

ඒත් හදපු දවසටම පහු වෙනිදා ආයිම අර කපපු තැනට පොඩ්ඩක් එහායින් ආයිම කපල. කපල තියෙන තැනට පොලිස් මුරපොලේ ඉදන් 200m විතර ඇති. ඒ වගේම ප්‍රදේශයේ තවත් පොලිස් මුරපොලවල් අවටිනුත් කේබල් කපාගෙන ගිහින්. නිකං බිල ගෙවන්න මොකටද SLT ආයතයෙන් විමසීමක් කරා. පලවෙනි පාර කිවුවා කොහොමත් බිල් එක ගෙවන්න වෙනවා කියල. ඉතිං අන්තිමට තීරණය කරා ADSL විසන්ධි කරන්න. විසන්ධි කරන්න ගියාම කියනවා බිල් එක අඩු කරන්නම් ලු. දැන්ම හදන්නැත්ද කියල ඇහුවම පොලීසියෙ කිසිම මෙව්ව එකක් නැති නිසා හදන්නැද්ද මොකක්ද කියල තිබුණ. ඉතිං අපි තීරණය කරා මේක නිවුස් එකක් කරන්න. කරල මාධ්‍ය වලට දුන්න. තවම හදල නෑ.

ඒත් ඕව හදනකං නෙට් නොයා ඉන්නයැ. අයියගේ Airtel Unlimited Sim එකයි E220යි තමයි අවුරුද්ද දවස් ටිකේ පාවිච්චි කලේ. Airtel 3G මේ පැත්තට නෑ. ඉතිං EDGE තමයි. මාර ස්ලෝ. මේල් එක වත් හරියට ලෝඩ් වෙන්නෑ.ඉතිං Unlimited උනා කියල කන්නයැ.හැම ජාතියම දාල බලුවා හොදට සිග්නල් තියෙන්නේ මොකේද කියලා. Etisalat එකෙත් EDGE විතරයි. Dialog පෙර ගෙවුම් සල්ලි ඉක්මණට ඉවරයි. අන්තිමේ හොද උනේ පාවිච්චි කරන මොබිටෙල් ම තමයි.



පහුගිය 18 වෙනිදා පරණ මොබිටෙල් සිම් එකේ දුවිලි පිහදාල අරන් ෆැක්ස් එකක් යවල සක්‍රිය කරගත්ත. 100ක් රීලෝඩ් කරා. ගත්ත 141 එකට කෝල් එකක්. 6 ගහල Weekly Delight (75)ඇක්ටිව් කරා. 75යි කිවුවට හරි ගාන රු 98.98. දැන් ඔන්න E220කට සිම් එක දාල නෙට් යන්න බැලුවම කනෙක්ට් වෙන්නෑ. එතකොට උදේ 7ට විතර ඇති. සැකසුම් දෝශයක්ද කියල සැකයක් ආපු නිසා පසු ගෙවුම් සබඳතාව දාල බැලුවා. හොදට වැඩ කරනවා. සිම් එකේ මොකක් හරි අවුලක් කියල තේරුණා. ගත්ත පාරිභෝගිකයන්ට කෙලවීමේ අංශයට 2පාරකට වඩා කතා කලොත් දැන් කීයක්ද කැපෙනව කියලත් කියනවා ඇහුනා. කොහොම හරි නියෝජිතයෙක් කතා කරා විනාඩි 20කට විතර පස්සේ.
ඉතිං ගැටලුව කිවුවා.

සිම් එකට weekly delight දැම්මා. බ්ලා... බ්ලා....බ්ලා..

මෙහෙන් අවුලක් නැහැ. සිම් එකට ඇක්ටිව් වෙලා තියෙන්නේ. සර්ගෙ මොබයිල් එක මොකක්ද ඇහුවා. ඉතිං මොබයිල් එකේ වර්ගය කිවුවා. දැන් සෙටිංග්ස් එවන්නම් කිවුවා. .

මං කිවුවා සෙටිංස් වල අවුල් නෑ. අනිත් සිම් එකෙන් කනෙක්ට් වෙනවා. ඒ උනාට එහෙම හරියන්නෑ කියල සැකසුම් ටික එවුවා. ඕෆ් කරල තියල ඔන් කරන්න එතකොට හරියයි කියල කිවුවේ. මං කිවුවා ෆෝන් එකේ නෙවෙයි මොඩම් එකටත් වැඩ කරන්නැහැ කියලා. පොඩ්ඩක් ඉන්න කිවුවා. විනාඩි 2ක් විතර ඉන්න ඇති කට් උනා. ඉතිං !@#$%^&*()

මාත් ඉතිං කරලම බැලුව. සිම් එකට Packet Data සක්‍රිය නැ වගේ තමයි ෆෝන් එකේ පෙන්නෙන්නේ. Always online දැම්මම අර 3G යටින් වැටෙන කැඩි ඊතල පෙන්නන්නෑ. ඒ කියන්නේ Packet Data Not Available කියන එකනේ.

ආපහු ගත්තා අර ඉස්සෙල්ල ගනිපු සේවාවටම තවත් විනාඩි 20ක් විතර හිටියා ඔන්න නියෝජිතවරියක් ආව. ඒ පාර ඇහුවා කෙලින්ම weekly delight දැම්ම නෙට් යන්න බෑ මොකද කියලා. පාවිච්චි කරන්නේ මොකක්ද ඇහුවම කෙලින්ම E220ක් කිවුවා. ආයිම කියපි එහෙන් අවුලක් නෑ සෙටිංග්ස් හදාගන්න කියලා. මම දන්නැද්ද සෙටිංග්ස්. කෙලින්ම ඇහුවා මොඩම් එකට දෙන්න තියෙන්නේ apn එක mobitel3g නම්බර් එක *99# නේද කියල. එහෙනම් පොඩ්ඩක් ඉන්න කිවුවා. ඉතිං ආයිම හිටියා. විනාඩි 3ක් විතර ඉදල ආයිම කතා කරා.වෙන ඩොංගල් එකකට දාල බලන්න. ෆෝන් එකකට දාල බලන්න. අනං මනං ටිකක් ආයිම කිවුවා. මං කිවුව සේරම කරල බලල බැරි වෙච්ච නිසා තමයි ඔයාලට කතා කරේ කියල. එපාර ආයිම ඉන්නලු ඉතිං ඉන්නව ඉන්නවා. ඔන්න ආයිම ටික වෙලාවක්(විනාඩි 5ක් විතර) ඉදල කියනවා සර්ගෙ එකවුන්ට් එකේ සල්ලි මදිලු. මං කිවුවා 100ක් දාල තමයි ඇක්ටිව් කරේ. එතකොට කියපි රු 75 ට බදු එක්ක රු 98.98 ක් යනවා. දැන් රු 1 සත ගාණයි තියෙන්නේ. එපාර කියනවා නෙට් යන්න නම් අවම රු 2ක් තියන්න ඕනලු. එකවුන්ට් එක රීචාර්ජ් කරල බලන්නලු. මටත් දැන් ඇතිවෙලා බලං ඉදලම මේ වෙනකොට 10ටත් කිට්ටු වෙලා තිබුනා. හරි මං ඒකත් කරල බලන්නම් කියලා තිබ්බා. 2වෙනි චාන්ස් එකත් ඉවරයි. මැසේජ් එකක් ආව. තව පාරක් ගත්තොත් charge කරනව කියල තබයි තිබුනේ.

රිලොඩ් එකක් දාල බලන්න ඕන කියල හිතුන නිසා ඕං යාලුවෙක්ට කෝල් එකක් දීල කිවුවා 20ක් දාන්න කියලා. 20ත් ආව දැන් එකවුන්ට් එක රු 21.02 දැන් හරිනේ කිවුව විදියට දැන් නම් නෙට් යන්න බැරි වෙන්න විදියක් නෑ. ඔන්න ආයිම ට්‍රයි එකක්ද දුන්න. මොන අර විදියමයි. දැන් මොකද කරන්නේ. ආපහු ගත්තොත් charge වෙනවා. විනාඩි 20ක් විතර බලන් හිටියොත් රු20 ආයිම ඉවරයි.

එතකොට තමයි මතක් උනේ මම පාවිච්චි කරන්නේ මොබිටෙල් පසු ගෙවුම් පැකේජයක් කියලා. ඇමතුව පාර්භෝගික සේවා අංශය. විනාඩියක් යන්නත් කලින් ඕන් නියෝජිතවරියක් කතා කරා. එපා වෙලා හිටපු හින්දම උදේ ඉදන් උනු දේවල් කිවුවා. එක පාරක් ගත්තම කට් උනා. කරන්න කිවුව සේරම කලා තාම ඔයාලට හදල දෙන්න බැරි ඇයි කියලා. එපාර කියනවා අර සිම් එකෙන්ම කතා කරන්නලු. මං කිවුව ඒක මොඩම් එකේ තියෙන්නේ. ඒකයි මේකෙන් ගත්තේ කියලා. තද වෙච්ච නිසා මම කෙලින්ම කිවුවා නෙට් යන්න හදල දෙන්න බැරිනම් කැපිච්ච ගාන රිෆන්ඩ් කරන්න කියලා. එපාර අදාල අංශයට ඒ ගැන පැමිණිල්ලක් ගොනු කරන්නම් කියලත් කිවුවා. Weekly Delight එක ඉවර වෙන්න කලින් නෙට් යන්න හරි රිෆන්ඩ් එක හරි නොලැබුනොත් TRC එකට පැමිණිලි කරනවා කියල මම කට් කලා. එදා දවසත් සුපුරුදු විදියටම නෙට් නැතිව ගත කරන්න හිතුවත් පසුගෙවුම් පැකේජ් එකෙන් කනෙක්ට් වෙලා මේල් එක විතරක් චෙක් කරා. BCS එකේ විභාගය 21,22 නිසා Admission එක ප්‍රින්ට් කරගන්නත් ඕන.ඒත් මේල් එක හොයාගන්න බැරි උනා.

මේක මාගලක් වෙලා වගේ වැඩිය දිග ඒව කියවන්න කම්මැලි ඇතිනේ. අන්තිමේ ආපහු ජංජාල ගත වෙච්ච හැටියි අර රු 98.98 ට වෙච්ච දේයි ගැන ඊලග පෝස්ට් එකේ දාන්නම්.

April 20, 2010

පරිවර්තන මැරතන් තරගයට ලේස්තිද

Filed under: OpenOffice, මැරතන්, සිංහල — ගයාන් තාරක @ 8:28 am
අවුරුද්දත් පහු වෙච්චි. අවුරුද්දත් එක්කලම ඉතිං පහුගිය දවස් ටිකේම අවුරුදු උත්සව තිබුණනේ. අන්තර්ජාලයේ ඉන්න යාලුවෝ එක්ක අවුරුද්දට මැරතන් දුවන්න ලේස්ති වෙනවා. ඉතිං මැරතන් දුවන එකෙන් තවත් සේවාවක් කරන්න තමයි මේ අවස්ථාව ඇවිල්ල තියෙන්නේ. ඉතිං ඔන්න සම්පූර්ණ විස්තරේ පල්ලෙහායින් තියෙනවා! සිංහලෙනුයි ඉංගිරිසියෙනුයි. දුවන කට්ටිය දුවන්න ලේස්ති වෙන්න. වතුර ගහන අය වතුර ලේස්ති කරගන්න. එහෙනං කට්ටියම මැරතන් පිටියෙදි හමුවෙමු.

පරිවර්තන මැරතන් තරගය - 2010 අප්‍රේල්



ශ්‍රී ලාංකාවේ පළමු වරට පරිවර්තන මැරතන් තරඟයක් 2010 අප්‍රේල් මස 27 දින රාත්‍රී 9.00 සිට 2010 අප්‍රේල් මස 28 වන දින රාත්‍රී 12.00 දක්වා පැවැත් වේ.



මෙහි අරමුණ වන්නේ දැනට පරිවර්තන කටයුතු අවසන් වූ Openoffice.org සිංහල නිකුතුවට අදාල උදව් පිටු සිංහලින් සකස් කිරීමයි.

Openoffice.org සිංහල නිකුතුව සඳහා වචන 96,000 කට වඩා වැඩි ප්‍රමාණයක් සිංහලට හැරවීමට තිබු අතර මෙම උදව් පිටු සඳහා එමෙන් පස්ගුණයක් පමණ විශාල වූ කාර්යයක් නිම කිරීමට සිදුව ඇත.
100% නොමිලේ ලබා ගෙන Windows, GNU/Linux සහ MAC මත භාවිත කළ හැකි නිදහස් සහ විවෘත මෘදුකාංග අතරින් සුවිශේෂි මෘදුකාංගයක් වන Openoffice.org ව්‍යපෘතියට ආදරය කරන එමෙන්ම සිංහල බසින් මෘදුකාංග ප්‍රජාව අතරට යාම සඳහා දායකත්වයදීමට ලැදි ඔබ සැමට මින් ඇරයුම් කරමි.

ඔබ කොහොමඳ එක්වෙන්නේ?

Openoffice.org ශ්‍රී ලාංකික ප්‍රජාව භාවිත කරන තැපැල් ලැයිස්තුවට එක් වෙන්න.
ඉන් අනතුරුව "Translation Marathon 2010 April "මාතෘකාව සහිතව ඔබේ සහයෝගය ලැබෙන බවට අපට විද්‍යුත් ලිපියක් එවන්න.
කරුණාකර මෙම මාතෘකාවම පමණක් භාවිත කරන්න.

ඔබ මොනවද දැනගත යුත්තේ?

සිංහල ලිවීම සඳහා සිංහල යුනිකෝඩ් භාවිතයෙන් ලිවීම අනිවාර්ය වේ.
අදාල ඉංග්‍රිසි වදන් තේරුම් ගෙන එය සිංහලින් සරළව ලිවීමයි ඔබ කළ යුතු වන්නේ

පරිගණක ක්‍රමලේඛනය පිළිබඳ දැනීමක් අවශ්‍ය නොවේ!

තනිවද තරග කරන්නේ?

ඔබට කැමති නම් තනිව හෝ කණ්ඩායමක් ලෙස තරඟ කළ හැක.
එනම් පාසැල්, විශ්ව විද්‍යාල, ආයතනික මිතුරන් සමඟ එක් රැස්වී තරඟ කළ හැක.

සයුරෙන් එහා ඉන්න මම?

ඔව් මව් රටින් බැහැර වුවත් ඔබටත් අන්තර්ජාලය හරහා දායක විය හැක.
පැය 27ක් පුරා දිවෙන බැවින් ඕනෑම වේලාකලාපයක කෙනෙක්ට සම්බන්ධ විය හැකියි.
(දැනට එක්සත් රාජධානිය, සවුදි සහ ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකියන් තිදෙනෙක් සහය දීමට ඉදිරිපත්ව ඇත.)

එන්න අපහා එක්වන්න.
මෙය සුවිශේෂි ප්‍රජා ව්‍යාපෘතියකට දායකත්වය ලබා දීමට ඔබට ඇති මහගු අවස්ථාවකි.


OpenOffice.org Translation Marathon 2010 April

An event, a marathon is scheduled to be held for 27 hours starting on 27th April 2010 at 9pm. The event will bbe held online and the objective is to translate OpenOffice.org help files into Sinhala. We have almost finished translating the user interface of OO.org.



So this is an open invitation for you all. If you love OO.org, willing to contirbute and meet all the pre-requisites, this opportunity is for you. Spend few hours and be proud for years.

Pre-requisites
  • Sinhala unicode installed Linux/Windows system (how to install)
  • Ability to type Sinhala in Sinhala unicode (no need to be fluent, all that is needed is the ability)
How to contribute
  • Subscribe to openoffice-lk mailing list
  • Drop a mail with the subject "Translation Marathon 2010 April", say that your willing to contribute.
What you have got to do at the event
  • Type simple Sinhala terms for the English terms provided.
  • You should only use Sinhala unicode.
Your not alone
  • There will be a lot for sure.
  • You can ask others for unknown terms.
  • You can get to know each other.
  • You will have fun.
As this event is going to be held you 27 hours you can contribute at any time for any long. We hope to get a considerable percentage of the OO.org Help files translated to Sinhala in this event.

Make use of this significant opportunity you have, contribute to the community project, spend few hours at the event and be your self proud for the life time.

April 9, 2010

Mozilla FireFox කාර්යක්ෂමව භාවිතා කිරීමට කෙටිමං..

Filed under: Firefox, Foss, Internet, ShortCuts, Web — ගයාන් තාරක @ 10:00 am


[F3] - පිටුව තුල වචන සෙවුමට.

[F5] - වත්මන් පිටුව / ටැබය යලිපූරණයට.

[Ctrl + T] - නව ටැබයක් ලබාගැනීමට.

[Ctrl + W] - වත්මන් ටැබය වැසීමට.

[Ctrl + Shift + T] - අවසානයට වසා දැමූ ටැබය යලි විවෘත කිරීමට.

[Ctrl + Shift + P] - පෞද්ගලික ගවේශණය ආරම්භ කිරීමට.

[Alt + Left Arrow] හෝ [Backspace] - පෙර පිටුවට.

[Alt + Right Arrow] - ඉදිරි පිටුවට.

[F11] - පුළුල් තිර ආකාරය සහ පුළුල් තිර ආකාරයෙන් ඉවත්වීමට.

[Esc] - පිටුව පූරණය නැවැත්වීමට.

[Ctrl + (- or +)] - ෆොන්ටයේ ප්‍රමාණය, ෆොන්ටයේ ප්‍රමාණය '-' මගින් අඩුවන අතර '+' මඟින් වැඩිවනු ඇත.

[Ctrl + Shift + Del] -‍ ‍පෞද්ගලික දත්ත ඉක්මණින් හිස් කිරීම සඳහා Clear Data කවුලුව වීවෘත කිරීමට’

[F6] or [Alt + D] or [Ctrl + L] – වෙබ් ලිපිනය එකවර තෝරාගැනීමට.

[Ctrl + D] - විවෘතව ඇති වත්මන් පිටුව සඳහා පිටු සළකුණක් එක් කිරීමට.

[Ctrl + I] - භාවිතයට ඇති පිටු සළකුණු ‍දර්ශණය කිරීමට.

[Ctrl + J] - භාගත කිරීමේ කවුලුව (Download Window) විවෘත කිරීමට.

[Ctrl + N] - ගවේශකයේ නව කවුලුවක් විවෘත කිරීමට.

[Ctrl + P] - වත්මන් පිටුව / රාමුව මූද්‍රණයට.

[Ctrl + Tab] - විවාතව පවතින ටැබ අතර මාරුවීමට.

[Spacebar] - වරකට පිටුව බැගින් පහළට චලනයට.

[Shift + Spacebar] - වරකට පිටුව බැගින් ඉහළට චලනයට.



http://www සහ .com ලිපින තීරුවේ යතුරුලියනය කිරීමෙන් තොරව සම්පූර්ණ කිරීමට [CTRL + Enter]

උදා:- http://www.google.com ලබා ගැනීමට ලිපින තීරුවේ google ලෙස සඳහන් කර [Ctrl +Enter] යතුරු සංයෝජනය ලබාදෙන්න.

http://www සහ .org ලිපින තීරුවේ යතුරුලියනය කිරීමෙන් තොරව සම්පූර්ණ කරගැනීමට [CTRL + Shift + Enter]

උදා:- http://www.hanthana.org ලබා ගැනීමට ලිපින තීරුවේ hanthana ලෙස සඳහන් කර [Ctrl + Shift + Enter] යතුරු සංයෝජනය ලබාදෙන්න.

http://www සහ .net ලිපින තීරුවේ යතුරුලියනය කිරීමෙන් තොරව ලබාගැනීමට [Alt + Enter]

උදා:- http://www.batapola.net ලබා ගැනීමට ලිපින තීරුවේ batapola ලෙස සඳහන් කර [Alt + Enter] යතුරු සංයෝජනය ලබාදෙන්න.

---
ප.ලි.
මෙම ලිපිය cPlus සඟරාවේ මංගල කලාපය සඳහා මා විසින් සකස් කරන ලද්දකි.

කෙටිමං වලට හුරුවිම ඔබේ කාලය ඉතිරි කරයි.
Older Posts »